Monday, August 27, 2012

තේමාවක් නැති ආදරේ - 02

දවස් දෙක තුන ඔහේ ගෙවිල ගියා. ටික දවසකට පස්සෙ ඔයාව මට මුණගැහුන බස් එකේදි. වෙනදට පාළුවෙන් ඔහේ බලාගත්තු අතේ බලාගෙන යන මට ඔයා හිටි නිසා එදා ගොඩක් වෙනස්. තොරතෝංචියක් නැතුව දොඩමලු වෙන ඔයා දිහා මම බලාගෙනම හිටිය. ඔයා ඔයාගැන මමත් එක්ක කිව්ව. ඔයාගේ ඉස්සර කාලෙ විස්තර නේද ඒ? ඒ අතරමගදි ඒ ලස්සන අහිංසක ඇස්දෙක මමත් එක්ක හිනා උනා. මටත් හරි හරියට කියන්න දේවල් දිව අගටම ආවත් කියාගන්න බැරුව මාව ගොළු උනා. ඔයාට මතකද ඔයා ඇහුව "ඔයා මොනව හරි කියන්න නේද හදන්නෙ, ඒත් කියාගන්න බැහැ නේද?" කියල. එදා ඔයා මගේ හිත කියෙව්ව. ඔයා ළඟ ඉන්නකොට කාලෙ යනව තේරෙන්නෙත් නැති හැටි. අපිටම නොදැනිම ගමනාන්තෙටත් ඇවිත්. :)

Saturday, August 18, 2012

තේමාවක් නැති ආදරේ - 01

හිත හොඳටම රිදිල හිටිය කාලයක් ඒක. කොච්චර ජීවිතේ කරන්න රාජකාරි තිබුනත් ඒ ඔක්කොම වැඩ අස්සෙ එකම එක තප්පරේකට හිතල සතුටුවෙන්න කියල කෙනෙක් හිටියෙ නැහැ මට. මතක් වෙනකොට ආදරේ දෝරෙ ගලන ලස්සන අතීතයක් අපි දෙන්නට තිබුනට එයා ඒ ලස්සන අතීතෙ පොඩිපට්ටම් කරල දැම්ම. වැඩ රාජකාරි අතරෙ පොඩ්ඩකට හරි එයා ගැන හිතුනම මට මගේ ජීවිතේ තවත් එපා උන එකයි උනේ. එයා මට රිද්දන්න කරපු දේවල් එකින් එක මතකෙට ගලාගෙන ආවෙ මන් ගොඩක් ආදරේ කරපු අපි දෙන්නගෙ අතීතෙ මතක සැමරුම් සේරම මට නැත්තටම නැතිකරගෙන.

"එයා මුණගැහුන දවසෙ ඉඳල මට අළුත් ජීවිතයක් ලැබුණ. ජීවිතේට කියල අරමුණක් තිබුණ. ආසාවෙන් මම මහන්සි උනා අපේ අනාගතේ ලස්සන කරන්න.ඒත් අපි ඒ යන ගමන අතරමගදි එයා වෙනස් වෙලා. මාව සතුටින් තියන්න එයා කල හැම දේකින්ම එයා හිත රිද්දගෙන. එතකොට බලාගෙන යද්දි මම විතරද සතුටින් ඉඳල තියෙන්නෙ." ඔන්න ඔච්චරයි දැන් මට එයා ගැන හිතනකොට හිතට එන එකම දේ.

"හිතේ ගින්දර ඉහටත් උඩින්. යාළුවන්ට මේව කියන්න බෑ. උන්ටත් කියල කොච්චර ප්‍රශ්නද. අපි මේ හැමෝම හැල්මෙ දුවනව ජීවත් වෙන්න. මගේ ප්‍රශ්න උන්ට කියල උන්වත් තව පිස්සුවට්ටන්න මට බෑ බෑමයි. මම කොච්චර නම් තනිවෙලාද. මට කියල හිතට එන ඕනම දෙයක් ඔහේ බකස් ගාල කියල දාන්න මටම කියල ගොඩක් සමීප යාලුවෙක් හිටියනම්."



Wednesday, August 8, 2012

සුභපැතුම

අහම්බෙන් වගේ 
අපි මුණගැහුනට 
කතාබහ කරල
පදවැලක් ගෙතුවට
සත්තම සත්තයි 
කල්පයක් වගේමයි
මම ඔයා දැනගෙන

කියන හැම වදනක්ම
පපුවටම වැදුනට
වරක් දෙපාරක් හෙම
ටිකක් සැරකෙරුවට 
මුළු හිතම දන්නවා
එක සිතින් මේ මට 
ආදරෙයි හොඳටම

දෙනෝදාහක් මැද
ඇස් කතා කෙරුවට 
කියාගනු බැරිව අද
මුවද ගොළුවූවට
මේ හිතට දැනෙනවා
ගෙවෙන මේ දින පැය
හොඳටෝම  දිගබව 

ඔබ අභියසින් හිඳ
කියන්නට බැරුවට 
අඩුම තරමකින්වත් 
දැකුමටත් බැරි මට 
සිතින් මම පතන්නම් 
උපන්දින සුභපැතුම
සුභම සුභ වන්නට








Wednesday, August 1, 2012

සිතිවිල්ල


නිති සිතට සුව ගෙනෙන 
වදන් නෑසී ගියද
දනිමි මා ලෙස ඔබද 
සිතින් සිතනා තරම

ලෙන්ගතුව සිටීමට 
නොහැක දැන් පෙරසේම
ගෙවෙන හැම දිනයකම 
ඇතිය කල්පයක දිග