Saturday, August 18, 2012

තේමාවක් නැති ආදරේ - 01

හිත හොඳටම රිදිල හිටිය කාලයක් ඒක. කොච්චර ජීවිතේ කරන්න රාජකාරි තිබුනත් ඒ ඔක්කොම වැඩ අස්සෙ එකම එක තප්පරේකට හිතල සතුටුවෙන්න කියල කෙනෙක් හිටියෙ නැහැ මට. මතක් වෙනකොට ආදරේ දෝරෙ ගලන ලස්සන අතීතයක් අපි දෙන්නට තිබුනට එයා ඒ ලස්සන අතීතෙ පොඩිපට්ටම් කරල දැම්ම. වැඩ රාජකාරි අතරෙ පොඩ්ඩකට හරි එයා ගැන හිතුනම මට මගේ ජීවිතේ තවත් එපා උන එකයි උනේ. එයා මට රිද්දන්න කරපු දේවල් එකින් එක මතකෙට ගලාගෙන ආවෙ මන් ගොඩක් ආදරේ කරපු අපි දෙන්නගෙ අතීතෙ මතක සැමරුම් සේරම මට නැත්තටම නැතිකරගෙන.

"එයා මුණගැහුන දවසෙ ඉඳල මට අළුත් ජීවිතයක් ලැබුණ. ජීවිතේට කියල අරමුණක් තිබුණ. ආසාවෙන් මම මහන්සි උනා අපේ අනාගතේ ලස්සන කරන්න.ඒත් අපි ඒ යන ගමන අතරමගදි එයා වෙනස් වෙලා. මාව සතුටින් තියන්න එයා කල හැම දේකින්ම එයා හිත රිද්දගෙන. එතකොට බලාගෙන යද්දි මම විතරද සතුටින් ඉඳල තියෙන්නෙ." ඔන්න ඔච්චරයි දැන් මට එයා ගැන හිතනකොට හිතට එන එකම දේ.

"හිතේ ගින්දර ඉහටත් උඩින්. යාළුවන්ට මේව කියන්න බෑ. උන්ටත් කියල කොච්චර ප්‍රශ්නද. අපි මේ හැමෝම හැල්මෙ දුවනව ජීවත් වෙන්න. මගේ ප්‍රශ්න උන්ට කියල උන්වත් තව පිස්සුවට්ටන්න මට බෑ බෑමයි. මම කොච්චර නම් තනිවෙලාද. මට කියල හිතට එන ඕනම දෙයක් ඔහේ බකස් ගාල කියල දාන්න මටම කියල ගොඩක් සමීප යාලුවෙක් හිටියනම්."



අහම්බෙන් වගේ කෙනෙක් මට හම්බ උනා. යාලුවෙක්ගෙ මාර්ගෙන්. දවසක් දෙකක් කතා කලාට කවදාවත් මම හිතුවෙ නෑ මගේ අගුලු දාල තියෙන මේ කට ඇරේවි කියල නම්. මට හිතෙන විදියට මාව නිහඬ කරවපු මගේ ප්‍රශ්න ඔයාට දැනෙන්න ඇති. ඔයා ගොඩක් ඕනකමකින් මට ඇහුන්කම් දුන්න. හිතේ ගින්දරට මමත් ඔහේ කියවගෙන ගියා. අගක් මුලක් මට තේරුනෙත් නෑ. ඒත් අසරණ ඔයා ඒ ඔක්කොම අහගෙන හිටිය. පුළුවන් හැම වෙලාවෙම මාව දිරිමත් කළා.මට වැටෙන්න දුන්නේ නෑ. එක දවසක් මට දුකට ඇඩුන.ඔයා ඉස්සරහ අඬන්න මම කවදාවත් හිතුවෙනෑ. දන්නව ඔයාටත් කරගන්න දෙයක් තිබුනෙ නැහැ කියල මම ඔයා ළඟ මොඩියෙක් වගේ අඬනකොට. ඒත් ඔයා ඒ වෙලාවෙ මගේ අත හයියෙන් අල්ලගත්තෙ නැත්තං මට එදා හැමෝම ඉස්සරහ ගොඩක් ලැජ්ජ වෙන්න තමයි වෙන්නෙ.

මට දුක මේකටයි.මගේ දුක හැමදාම අහගෙන හිටි ඔයාට මට දෙන්න තියෙන්නෙ තවත් දුක විතරයි.මට ඒක උහුලගෙන ඉන්න බැහැ. මම මොකක්ද කරන්නෙ. ඔයාගෙන් ඈත් වෙන්නද? ඒක කරන්නත් ශක්තියක් මට නැති හැටි.

ජීවිතේට ඔයා හොඳටම ලංවෙලා ඉවරයි දැන්.....

2 comments:

  1. තේමාවක් නැති ආදරේ බලාගෙන ඉන්නවා ‍කියවන්නට ඉතිරි කොටසත් හොයන්නට තේමාවක්.. :)

    ReplyDelete
  2. අද තවත් කොටසක් බලාපොරොත්තු වන්න :)

    ReplyDelete